Tuesday 28 July 2020

සුවඳ....



රාත්‍රිය තරු පිරි වරා ගෙන 
හිතක් ලඟ තනි රකින දවසක 
සඳ කිරණ සිසිලසින් වෙලෙමින්
රටා මවයි හිත මත්තෙන්

දිගු නිහඬ හුදෙකලාවක
සඟවා සුරැකිව රැකගත්
මතක තිමිර ඉරා දමා
බොඳ මීදුම් පටල මැදින් 
ඔබ ඇවිදින් හිත් මඩලට.

නිල්  දෑසින් හිනා වෙලා
ඇස් පිහාටු සෙමින් සලා
මන්දහාස දෙතොල් සලා
දොඩමලු වන නිමේෂයක්.


 තදින් හිත් අගුලු දැමුවත්
වෙන්වුවත් වෙන් නොවුනු
හිතේ ගැඹුරුම තැනක
සුරැකිව රැඳී සිටිනා
සුන්දරම ප්‍රේමය සමගින් 
තුන් සිතම නිවී සැනහුනු
තවත් එක් රැයකි මේ
පහන් වුනු ඔබ නැතිව .

ප්‍රේමයේ කවිකම්....


ආදරය පුරවලා 
ජීවිතය සැනසෙන්න
ඔබයි මගෙ ලඟ වුන්නේ 
තනිකමක් නොදැනෙන්න
රිදුනු හිත පිරිමැද්දේ  
වේදනා දුරුවෙන්න
අයිතියක් නැති මෙයත්
 "ප්‍රේමය" ද පවසන්න.... 

ශිසිර ගී.....



සුන්දරම අහඹුවක
හිත් මඩල කෙලවරක
සුපිපුනු රෝස කුසුමකි
පර නොවෙන කිසි දිනෙක...

රිදුම් දෙන සත්‍යයකි 
කිසි දිනෙක එක් නොවෙන
කවියක් ලෙසින් දුක් බරම
ගලා යයි ජීවිතය....
නොගැයු ගී ගයන්නට 
ඇසිල්ලක් නොලැබීම.....

Friday 17 July 2020

නිස්සාර....






නින්ද එනතුරු මේ අමාවක
රිදුනු හිත පිරිමදින මොහොතක 
බිහිරි කරවන නිහඬතාවෙක
ඔබේ කටහඬ දෝංකාරෙක

දරාගනු බැරි තනිකමක
හිතම පැටළුණු ඇසිල්ලක 
හුදකලාව සුව යහනෙක
අදුර සමග  මුනු මුනුවක

ජීවිතය කියන්නෙම මේකද....
රාත්‍රියේ නිහඬ තාවය මැද 
හිත කොනිති ගසන කලුවරද
හිත් පිත් නැති හුදකලාවද....

මහ පිරිත...




උපන්දා සටහනේ තිබුනාට ( තනිකම)
උරුම වූ හුදෙකලාව මැද
ජීවිතය ජීවත් කරවනා
ශෘංගාර වූ ප්‍රේමයයි ඔබ......


හිත පිරී ඇති සොඳුරු ආලය 
විඩා සිඳනා සිසිල් උල්පත....
ආත්මය මගේ නිසල කරවන
භාවනාවක් වගෙයි ඔබ මට

මතක....


හිතේ රිදෙන තැනක අපි 
සඟවගත් ප්‍රේමයක
වරම් නැති ලොවක දුටු 
සුන්දරම සිහිනයක
මේ අදත් පෙර පරිදි  
පණ ගැහෙන මතකයක 
නොවෙනස්ව  ඔබ හිදී 
හදේ ඇදි සිතුවමක

සසර මග මින් පෙරත් 
හමුවෙලා තියෙන්නැති
ඒ නිසා මේ භවෙත් 
අප දෙනෙත් ගැටෙන්නැති
මතක හිත හංගාන
ජීවිතේ ගෙවෙන්නැති
ඒ වුනත් කොහොමදැයි 
හොරෙන් හරි හොයන්නැති